උතුරු උරුමයේ ශාස්ත්‍රීය ගවේෂණය යාපනය අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාව 2026

උතුරු උරුමයේ ශාස්ත්‍රීය ගවේෂණය යාපනය අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාව 2026

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ (NIIBS) මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මඟින් සංවිධානය කරන ලද මෙම ක්ෂේත්‍ර චාරිකාව, උතුරු ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික උරුමයන් සොයා ගිය අතිශය සාර්ථක ගවේෂණයකි.

අභිමානවත් අලිමංකඩ යුධ ස්මාරකයෙන් ඇරඹි අපේ ගමන, යාපනයේ සංස්කෘතික අනන්‍යතාවය විදහාපාන නල්ලූර් කන්දස්වාමි කෝවිල, ලන්දේසි වාස්තු විද්‍යාවේ සලකුණක් වූ යාපනය කොටුව සහ කලාපයේ ඉතිහාසය සාක්ෂි සහිතව ගබඩා කර ඇති යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය හරහා ගලා ගියේය.

දැනුමේ මහා මන්දිරය වූ යාපනය මහජන පුස්තකාලය නැරඹීමෙන් පසු අප සයුර මැදින් ගමන් කළේ දූපත් උරුමය සොයා යමිනි. එහිදී නාගදීප රජමහා විහාරය වැඳපුදා ගත් අප, ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව, කොරල් පාෂාණ නිර්මාණ සහ එහි වෙසෙන වල් අශ්වයන් පිළිබඳව පර්යේෂණාත්මක නිරීක්ෂණයන්හි නිරත වුණෙමු.

ගමනේ ඉදිරි පියවර ලෙස ලංකාවේ උතුරු කෙළවර සනිටුහන් කරන පේදුරු තුඩුව ප්‍රදීපාගාරය වෙත ළඟා වූ අතර, අනතුරුව පුරාණ බෞද්ධ ආභාෂය විදහාපාන කන්තරෝඩෙයි (කදුරුගොඩ) ස්තූප සංකීර්ණය අපගේ විශේෂ අවධානයට ලක් විය. ඉන්පසු ඓතිහාසික කීරිමලෙයි පොකුණ සහ නගුලේශ්වරම් කෝවිල හරහා ගොස්, භූ විද්‍යාත්මක අභිරහසක් බඳු නිලාවරයි පතුල නැති ළිඳ අධ්‍යයනය කර, අවසානයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිහිපත් කරන දඹකොළ පටුන විහාරය වන්දනා කරමින් අපේ ශාස්ත්‍රීය චාරිකාව සාර්ථකව නිම කළෙමු.

පොතපතින් උගත් කරුණු ක්ෂේත්‍රය තුළදී ප්‍රායෝගිකව අත්දැකීමට ලැබීම ශිෂ්‍යයන් වන අප ලැබූ මහඟු ජයග්‍රහණයකි. මෙම අගනා අවස්ථාව ලබා දුන් අපගේ විශ්වවිද්‍යාලයට සහ ගුරු මණ්ඩලයට හෘදයාංගම ස්තූතිය!