මිනිසුන් ගැන දැනගන්න මානව විද්‍යාව ඉගෙනගන්න

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස වර්ෂ 2013 දී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය බිහි වන්නේ පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සමාජීය මෙහෙවරෙහි අග්‍රගන්‍ය ප්‍රතිඵලයක් ලෙස යි. එහි දැක්ම බවට පත් වන්නේ දාර්ශනික හා සදාචාරාත්මක ඉගැන්වීම් මෙන් ම බුදුදහමේ උදාර ආදර්ශවත් චරිත ප්‍රචලිත කරමින් සාමයෙන් හා සමගියෙන් පිරි ප්‍රබුද්ධ ලෝකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නායකත්වය සැපයීම යන්න යි. මේ ශාස්ත්‍රාලයේ මෙහෙවර වන්නේ මෛත්‍රිය සහ ප්‍රඥාව වැනි බෞද්ධ මූලධර්ම පදනම් කරගත් දැනුම සොයා ගැනීමත්, ඒවා සංරක්ෂණය කිරීම සහ බෙදා හැරීමත් වන අතර ම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සිය විද්‍යාර්ථීන් තුළ ඉගෙනීම වර්ධනය කිරීමටත්, තර්කානුකූල චින්තනය කෙරෙහි නැඹුරුතාව ඇති කරමින් සංස්කෘතිය සහ සමාජ යහපැවැත්ම මෙන් ම සමස්ත මානව වර්ගයාට ම සේවය කරන මානව ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ලොව පුරා විසිරී සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමටත් කටයුතු කරනු ලබයි.

ඓතිහාසික කැලණි පුරවරයේ පිහිටා ඇති නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ස්ථාපිත අධ්‍යයන පීඨ තුනකි. ඒවා නම් බෞද්ධ අධ්‍යයන පීඨය, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය යනාදිය යි. මේ අතුරින් මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය ආරම්භ වන්නේ වර්ෂ 2022 දී ය. එහි වත්මන් පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා යි.

බහු විෂයයික අධ්‍යයන ක්ෂේත්‍ර පදනම් කරගනිමින් නව ශාස්ත්‍රීය දැනුම සම්පාදනය කිරීම පෙරදැරි කරගත් මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් 2023 අධ්‍යයන වර්ෂය සඳහා හඳුන්වා දෙනු ලබන නවතම උපාධි පාඨමාල ත්‍රිත්වයක් වන්නේ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව, ශාස්ත්‍රවේදී ව්‍යවහාරික පුරාවිද්‍යා පිළිබඳ ගෞරව උපාධි පාඨමාලාව සහ ව්‍යවහාරික සන්නිවේදනය සහ මාධ්‍ය තාක්ෂණය පිළිබඳ ව ගෞරව උපාධි පාඨමාලාව යන උපාධි පාඨමාලා යි. මේ සටහන එම උපාධි පාඨමාලා ත්‍රිත්වයෙන් මුලින් ම සඳහන් කළ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව පිළිබඳවයි.

Prof. P. B. Mandawala
මහාචාර්ය පී.බී. මණ්ඩාවල – පීඨාධිපති මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
Dr. Praneeth Abeysundara
කලාසූරී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Prof. Yasanjalee Jayathilake
ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක
මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳ කරනු ලබන පරිපූර්ණ විද්‍යාත්මක අධ්‍යයනය යි. මිනිසාගේ භෞතික, සමාජීය, හා සංස්කෘතික ලක්ෂණ පිළිබඳ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කිරීම එහි දී සිදු වේ. ඉපැරණි ශාස්ත්‍රීය ඉතිහාසයක් ඇති මානව විද්‍යාව ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල අතිශය ජනප්‍රිය වූ විෂයයකි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වර්ෂ 1884 දීත්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වර්ෂ 1908 දීත්, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වර්ෂ 1908 දීත් මෙම විෂයයට අදාළ අධ්‍යයනාංශ ආරම්භ කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ මානව විද්‍යාව විෂයය සඳහා ගෞරව උපාධියක් පිරිනැමෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පමණි. එම විශ්වවිද්‍යාලයට මෙම විෂයය හඳුන්වා දෙන්නේ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් වර්ෂ 1960 දී පමණ ය. සංස්කෘතික මානව විද්‍යාව සහ භෞතික මානව විද්‍යාව ලෙස මෙම විෂයයේ ප්‍රභේද දෙකකි. මිනිසාගේ සමස්ත සංස්කෘතිය ගැනත්, එහි විවිධත්වය ගැනත්, මානව සංස්කෘතිය හා බැඳී ඇති අනේකවිධ ක්ෂේත්‍ර (ආහාර හා පෝෂණය, ජීවන රටා, හැසිරීම, සෞඛ්‍යය, ඖෂධ, අධ්‍යාපනය, කලාව, භාෂාව, ආගම…) පිළිබඳවත් සංස්කෘතික මානව විද්‍යාව විෂයය ක්ෂේත්‍රය යටතේ අධ්‍යයනයට බඳුන් වේ. මිනිසාගේ ජීව විද්‍යාත්මක පරිණාමය, අස්ථි පිළිබඳ විද්‍යාව, මානව අනුවර්තන, ලෙඩ-රෝග, ජීවයේ සම්භවය, මිනිසාගේ ආදි මුතුන් මිත්තන්, වානර-මානව සම්බන්ධතා, ජාන, ඩී.එන්.ඒ. සාක්ෂි වැනි විවිධ මානයන් පිළිබඳ භෞතික මානව විද්‍යාවේ දී සාකච්ඡාවට ලක් වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පසු ලංකාවේ රාජ්‍ය/ පෞද්ගලික විශ්වවිද්‍යාල අතුරෙන් මානව විද්‍යා විෂයයට අදාළ ව ගෞරව උපාධියක් පිරිනමන්නට කටයුතු සූදානම් කර ඇත්තේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය යි.

Computer Lib and Lecter Halls
පරිගණක විද්‍යාගාර සහ දේශන ශාලා පහසුකම්

මෙම උපාධි පාඨමාලාවේ ඉගෙනුම්-ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසිනි. මෙහි විශේෂත්වය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන්ගේ සහභාගීත්වය ද ඊට ලැබීම යි. කලාසූරී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මහත්මිය, මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මිය, මහාචාර්ය ජයන්ත ජයසිරි මහතා, මහාචාර්ය සේපාල සමරසේකර මහතා, ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය, ආචාර්ය තාරකා ආනන්ද මහත්මිය සහ ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහතා වැනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය මණ්ඩලයේ පූර්ණ දායකත්වය මෙම උපාධි පාඨමාලාව සඳහා ලැබෙන අතර ම අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කථිකාචාර්යවරුන් වන ආචාර්ය අශෝක කරුණාරත්න, කනිෂ්ක විජයරත්න, නජ්මා ආමත්, ඉෂාරි දිල්මිණී යන මහත්ම මහත්මීහු නවක විද්‍යාර්ථීන් උදෙසා සිය ශාස්ත්‍රඥ දැනුම ලබා දීමට සූදානමින් සිටිති. නවතම පහසුකම්වලින් සමන්විත දේශන ශාලා, පරිගණක විද්‍යාගාර, පුස්තකාල, ශ්‍රවණාගාර, කෞතුකාගාර සහ භෞතික මානව විද්‍යා විද්‍යාගාරවලින් සමන්විත අප ආයතය සිසු දරු දැරියන්ට උපරිම පහසුකම් සපයමින් යාවත්කාලීන් වන ලෝකයේ නව ශාස්ත්‍රීය දැනුම න්‍යායාත්මක සහ ප්‍රායෝගික යන අංශ දෙකෙන් ම ළඟා කරලීමට කටයුතු කරනු ඇත.

ක්ෂේත්‍ර චාරිකාවලින් (Field Research) අනූන මෙම උපාධි පාඨමාලාවේ සියලු ම චාරිකා සඳහා නවාතැන් පහසුකම් ඔබට ලැබෙන්නේ මුදල් අයකිරීමකින් තොරව ය. මෙම උපාධි පාඨමාලාව සාර්ථක ව නිම කරන විද්‍යාර්ථීන්ට මහජන සම්බන්ධතා නිලධාරී, මාධ්‍යවේදී, නාගරික හා ග්‍රාමීය සැලසුම්කරණ නිලධාරී, පුහුණු හා සංවර්ධන කළමනාකරු, සංචාරක මාර්ගෝපදේශක, සංවර්ධන නිලධාරී, ත්‍රිවිධ හමුදා හා පොලිස් ඇතුළු ආරක්ෂක අංශයේ රැකියා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා ආදියට යොමු වීමට ද අවස්ථාව උදා වේ. මානව විද්‍යා ගෞරව උපාධිය අවසන් කරන ඔබට පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා මියන්මාරය, තායිලන්තය, චීනය, කාම්බෝජය වැනි රටවල ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා අයැදුම් කිරීමට ද අප ආයතනය විසින් අවස්ථාව උදා කර දී ඇත.

NIIBS Library
පුස්තකාල පහසුකම්

අ:පො:ස උසස් පෙළ විභාගයෙන් (කලා/වාණිජ/ගණිතය/විද්‍යා/තාක්ෂණවේදය) විෂය ධාරාවන්ගෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් සහිත ව සමත්වීම හා සාමාන්‍ය පොදු පරීක්‍ෂණය සඳහා ලකුණු 30ට වැඩි වීම, හෝ අ:පො:ස උසස් පෙළ Pearson Edexcel විභාගයෙන් ඕනෑ ම විෂය ධාරාවක් යටතේ විෂයයන් තුනක් සමත්වීම හෝ අ:පො:ස උසස් පෙළ Cambridge Assessment International විභාගයෙන් ඕනෑ ම විෂය ධාරාවක් යටතේ විෂයයන් තුනකින් සමත්වීම හෝ ප්‍රාචීන මධ්‍යම විභාගය භාෂාත්‍රයෙන් ම සමත් වී තිබීම මෙම උපාධි පාඨමාලාව හැදෑරීමේ මූලික සුදුසුකම් වේ. අවුරුදු හතරක (4) කාල සීමාවක් වෙන් කොට ඇති මෙම ගෞරව උපාධි පාඨමාලාව සඳහා ඔබ වර්ෂයකට ගෙවිය යුතු වන්නේ රුපියල් අසූදහසක (80,000/=) මුදලක් පමණක් වන අතර එය ද වාර දෙකකට ගෙවීමේ අවකාශ සලසා දී ඇත්තේ අප ආයතනය මුදල් ඉපැයීමේ පරමාර්ථය පසෙක ලා රටට, දැයට, සමාජයට සේවාවක් ලබා දීමේ උදාර අරමුණු පෙරදැරි කරගෙන ඇති නිසා ය.

උසස් අධ්‍යාපන ආයතනයෙන් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව සඳහා ඔබත් අද ම අයැදුම් කරන්න. ඔබේ උපාධි සිහිනය සැබෑවක් කරගන්න. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අභිමානවත් උපාධිධරයකු බවට පත්වන්න.

  • විමසීම්: 077 047 0328 / 0112 904 663 / 0112 904 660 / 0112 904 666
  • Email: fhss@niibs.edu.lk