නාගානන්දයෙන් පිරිනැමෙන ශ්‍රී ලංකාවේ පළමුවැනි ව්‍යවහාරික පුරාවිද්‍යා උපාධි පාඨමාලාව

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය වූ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ආදර්ශ කර ගනිමින් ඉදිකර ඇත. මෙය වර්ෂ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් උපාධි ප්‍රදානය කිරීමට බලය ලත් ආයතනයක් බවට පත් කරන ලදී. දාර්ශනික හා සදාචාරාත්මක ඉගැන්වීම් මෙන්ම බුදුදහමේ උදාර ආදර්ශවත් චරිත ප්‍රචලිත කරමින් සාමයෙන් හා සමගියෙන් පිරි ප්‍රබුද්ධ ලෝකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නායකත්වය සැපයීම යන දැක්ම පෙරදැරි කරගත් එහි මූලාරම්භය 2013 වසර දක්වා දිවයයි. ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබන මෙම අධ්‍යාපන ආයතනය පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බුරුමය, හොංකොන්, චීනය වැනි රටවල ද මෙම අධ්‍යයන ආයතනය ජනප්‍රියත්වයක් උසුලයි.

NIIBS Photo

ප්‍රධාන පීඨ තුනකින් සමන්විත මෙම අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය 2020 වසරේ ආරම්භ කරන ලදී. දේශීය හා විදේශීය පර්යේෂකයන්ගේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන මෙහි පුරාවිද්‍යාව, මානවවිද්‍යාව, ඉංග්‍රීසි සහ සන්නිවේදනය හා මාධ්‍ය සැලසුම් යන අධ්‍යයනාංශ තුළින් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පිරිනැමීමට කටයුතු කර ඇත. ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහතිකපත්‍ර පාඨමාලාවල සිට ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි දක්වා මෙම පීඨය මගින් පිරිනමනු ලබයි.

ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යයනාංශය අප අධ්‍යයන ආයතනයේ විෂය සමගාමි හා බාහිර පර්යේෂණ සිදු කරන අධ්‍යයනාංශයක් ලෙස හඳුන්වාදිය හැක. න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික මුහුණුවරකින් ඉදිරිපත් කරමින් උරුම ආරක්ෂා කිරීම තුළින් රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම අප අධ්‍යයන ආයතනයේ අරමුණයි. මෙම අධ්‍යයනාංශය යටතේ 2023 වසරේ සිට ඇරඹෙන ශාස්ත්‍රවේදී (ගෞරව) ව්‍යවහාරික පුරාවිද්‍යා උපාධි පාඨමාලාව වසර 4 ක උපාධි පාඨමාලාවකි. විශේෂත්වය වනුයේ උපාධි පාඨමාලාව ආරම්භයේ දී විශේෂවේ දී උපාධිය සදහා ලියාපදිංචි විමට අවස්ථාව හිමි විමයි. පාඨමාලාව සාර්ථකව ඉහළම ශ්‍රේණි අගයක් සහිතව නිම කරන ශිෂ්‍යාට හෝ ශිෂ්‍යාවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ස්වර්ණ මුද්‍රිකාව පිරි නැමිමට ආයතනයේ පාලක සභාව විසින් තීරණය කර ඇත. මෙම උපාධි පාඨමාලාවේ විශේෂත්වය වන්නේ සෑම විෂය ඒකකයක් සඳහා ම ප්‍රායෝගික අත්දැකීම් ශිෂ්‍යාට ලබාදීමත් ක්‍ෂේත්‍ර චාරිකා සැලසුම් කිරීමත් ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් මෙම ආයතනය විසින් සැපයීමත් ය.

NIIBS Convention Centre scaled 1

මෙම උපාධි පාඨමාලාව තුළ අන්තර්ගත සාගර පුරාවිද්‍යාව, කෞතුකාගාර විද්‍යාව, උරුම කළමනාකරණය, සංස්කෘතික සංචාරක කර්මාන්තය, ව්‍යාපෘති කළමනාකරණය, පුරාසත්ත්ව හා පාරිසරික විද්‍යාව, වාරි ඉංජිනේරු තාක්ෂණය, විද්‍යාත්මක කාල නිර්ණ ක්‍රම, ගවේෂණ, කැණීම් සහ සංරක්ෂණ මූලධර්ම වැනි පුරාවිද්‍යාවේ ප්‍රායෝගිකත්වය හඳුනාගත් විෂය ක්‍ෂේත්‍ර ගණනාවකි. පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, දේශනශාලා සංකීර්ණ, අංග සම්පූර්ණ පුස්තකාල පහසුකම්, විද්‍යාගාර හා පර්යේෂණාගාර පහසුකම්, 1500 ක පමණ පිරිසකට පහසුකම් සැපයීය හැකි ශ්‍රවණාගාරයක්, විදේශීය සිසුන් 750 කට පමණ නේවාසිකාගාර පහසුකම් සැපයීය හැකි අධි සුඛෝපබෝගී නේවාසිකාගාරයක්, ක්‍රීඩාගාර පහසුකම්, රංග පීඨයක් ඇතුළු සියලු පහසුකම්වලින් මෙම අධ්‍යයන ආයතනය සමන්විත වේ.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් සපයනු ලබන පහසුකම් වලට අමතරව පුරාවිද්‍යා ගවේෂණ, කැණීම්, පර්යේෂණ හා සංරක්ෂණ කටයුතු ප්‍රායෝගිකව සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාලයට ම පවරාගෙන ඇති පුරාවිද්‍යා භූමියක් වන අනුලා මහා සෑ පරිශ්‍රය ද, කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයකින් සමන්විත කෞතුකාගාරය ද නවීන විද්‍යාත්මක උපකරණවලින් සමන්විත විද්‍යාගාරය ද විද්‍යාර්ථීන් වෙත සමීප කරවීමට මේ වන විටත් අධ්‍යයනාංශය සුදානම්ය.

Anula Saya

මෙම උපාධි පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සුදුසුකම් හා පළපුරුද්ද ලත් ආචාර්ය මණ්ඩලයක් විසිනි. ඒ අතර දැනට මෙම ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ හිටපු වැඩබලන පීඨාධිපති, ඉංජිනේරු තාක්ෂණ අධ්‍යයනාංශයේ හා ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අධ්‍යයනාංශ ප්‍රධාන හා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාවල්වරයෙකු වූ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක හා හිටපු අංශ ප්‍රධානී, වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අරුණ මනතුංග මහතා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අශෝක කරුණාරත්න වැනි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් මෙම අධ්‍යයනාංශය සමන්විත වේ. මීට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගේ ද සහාය ලබා ගැනීමට අධ්‍යයනාංශය මගින් කටයුතු යොදා ඇත.

Prof. P. B. Mandawala
මහාචාර්ය පී.බී. මණ්ඩාවල – පීඨාධිපති
Prof. Anura Manathunga
මහාචාර්ය අනුර මනතුංග
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්
Dr. Ashoka Karunarathna
ආචාර්ය අශෝක කරුණාරත්න

මීට අමතරව විද්‍යාර්ථීන්ට පාඨමාලා කාලය අතරතුර හිමිවන සමාසික ආයතනික පුහුණුවද පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ අවස්ථා ද විද්‍යාර්ථීන්ගේ රැකියා ක්‍ෂේත්‍රය මෙන් ම උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද ඉදිරි ගමන් මග තහවුරු කරනු ඇත. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, වාරි කර්මාන්ත දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ලේඛනාගාර දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය, ජාතික උරුම කළමනාකරණ ආයතනය වැනි රාජ්‍ය ආයතන රැසක රැකියා අවස්ථා වෙත පිවිසීමේ දොරටු විවර වේ. එමෙන් ම ශ්‍රී ලංකාවේ ඕනෑම රාජ්‍ය මෙන් ම පෞද්ගලික විශ්වවිද්‍යාල ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශනශූරී උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට ද මෙය මූලික සුදුසුකමක් වනු ඇත.

අ:පො:ස: උසස් පෙළ විභාගයෙන් (කලා/ වාණිජ/ ගණිතය/විද්‍යා/තාක්ෂණවේදය) විෂය ධාරාවන්ගෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් සහිතව සමත්වීම හා සාමාන්‍ය පොදු පරීක්‍ෂණය සඳහා ලකුණු 30 කට වඩා වැඩි වීම, හෝ අ:පො:ස: උසස් පෙළ Pearson Edexcel ඕනෑම විෂය ධාරාවක් යටතේ විෂයයන් තුනක් සමත්වීම හෝ අ:පො:ස: උසස් පෙළ Cambridge Assessment International විභාගයෙන් ඕනෑම විෂයය ධාරාවක් යටතේ විෂයයන් තුනකින් සමත් වීම හෝ ප්‍රාචීන මධ්‍යම විභාගය භාෂාත්‍රයෙන් ම සමත් වී තිබීම මෙම උපාධි පාඨමාලාව හැදෑරීමේ මූලක සුදුසුකම් වේ. එම මූලික සුදුසුකම් සපුරා ඇති ඕනෑම අයෙකුට වයස් භේදයකින් තොරව මෙම පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ ඉඩප්‍රස්ථාව අධ්‍යයනාංශය මගින් සපයා ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක හෝ අපගේ විද්‍යුත් ලිපිනය භාවිත කරන්න.

  • දුරකථන අංක: 0112 904 663 / 0112 904 660 / 071 208 4752
  • විද්‍යුත් ලිපිනය: fhss@niibs.edu.lk
  • ලිපිනය: නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය, මානෙල්වත්ත, කැලණිය, ශ්‍රී ලංකා